නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 600කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, ආලංකුඩා වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද (2025 ජුනි 04) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසියයකට (600) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත ගවේශණාත්මක කාර්ය සාධක බලකාය මගින් කල්පිටිය, ආලංකුඩා මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ඩිංගි යාත්‍රාවක තිබූ සැකකටයුතු උර 17ක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උර තුල තිබී නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 600ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි.

තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතව ඇත.