නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ, විදේශීය දුම් වැටි සහ සඟවා තිබූ කොකේන් මත් ද්‍රව්‍යය නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මැයි මස 10 වැනි දින සිට 19 වැනි දින දක්වා කාල සීමාව තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සහ පොලිස් විශේෂ කර්ය බලකාය හා එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 108ක පමණ තොගයක් (තෙත බර සහිතව), විදේශිය දුම්වැටි 2,600ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ සඟවා තිබූ කොකේන් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 732ක පමණ ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය 2025 මැයි මස 11 වැනි දින ඌරුමුනෛයි වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම මගින් එම වෙරළ තීරයට ගොඩගසා තිබූ, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 108ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනය, ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 මැයි මස 15 වැනි දින මහනුවර, මහයියාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අළෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 2,600 ක පමණ තොගයක් සමඟ එක් සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය, වාකරේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 මැයි මස 18 වැනි දින ලංකාපටුන මංසන්ධියේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, කොකේන් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 732 ක පමණ ප්‍රමාණයක් සඟවා තිබියදී සොයා ගැනීමට සමත් විය.

තවද, විදේශීය දුම්වැටි සමඟ අත්අඩංගුවට ගත් සැකකරු සහ එම දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, කොකේන් ග්‍රෑම් 732 ක ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඊච්චිලම්පත්තු පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.