නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ සහ විදේශීය දුම් වැටි තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මැයි මස 02 වැනි දින සිට 09 වැනි දින දක්වා කාල සීමාව තුල නාවික හමුදාව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් හා පොලීසිය හා එක්ව කල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 310 ග්‍රෑම් 44ක තොගයක් සහ විදේශිය දුම්වැටි 12,200 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා හා වසභ ආයතන 2025 මැයි මස 02 වැනි සහ 09 වැනි දින කච්චතිව් සහ ඌරුමුනෛයි වෙරළ ප්‍රදේශයේත්, කංචදේව ආයතනය 2025 මැයි මස 05 වැනි දින වෙන්පුරවිනගර් වෙරළ ප්‍රදේශයේත් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් එම වෙරළ තීරයන්ට ගොඩගසා තිබූ, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ බීඩි කොළ කිලෝ 310 ග්‍රෑම් 44ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනය 2025 මැයි මස 02 වැනි දින සහ 08 වැනි දින කඩුගන්නාව සහ වත්තේගම පොලිස් ස්ථාන හා එක්ව මහනුවර මුරුතලාව සහ ලේවැල්ල ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අළෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 12,200 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, විදේශීය දුම්වැටි සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ එම දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කඩුගන්නාව හා වත්තේගම පොලීස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි.