රුපියල් මිලියන 87 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 218 කට අධික තොගයක් පේසාලේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ දෙසීය දහ අටයි (218) ග්‍රෑම් අටසියයක (800) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) 2025 මැයි මස 11 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ උර අටක (08) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ දෙසීය දහ අටයි (218) ග්‍රෑම් අටසියයක (800) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාව සමඟ පේසාලේ වෙරළ ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ, නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන අසූ හතකට (87) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.