නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්රෑම් 325 කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්රදේශයේ 2025 මැයි මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝ තුන්සිය විසිපහයි (325) ග්රෑම් හතරක (04) පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, 2025 මැයි මස 07 වැනි දින බටහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා කැලණි ආයතනය විසින් විශේෂ යාත්රා බලඝණ කණ්ඩායමක් යොදවා මීගමුව මුහුදු ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ පාර්සල් 09 ක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම පාර්සල් තුල තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැක කෙරෙණ බීඩි කොළ කිලෝ 325 ග්රෑම් 04ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණී.
තවද නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.