නීති විරෝධී ලෙස රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 03ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ආනවාසල කලපු ප්‍රදේශයේ 2025 මැයි මස 02 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබූ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2025 මැයි මස 02 වන දින කල්පිටිය ආනවාසල කලපු ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙමේදී, සැකකටයුතු ලොරි රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ලොරි රථයේ තිබූ උර තිස් දෙකක (32) අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ලොරි රථය (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කෘමිනාශක තොගය, සැකකරුවන් තිදෙනා (03) සහ ලොරි රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.