නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 643ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, කල්පිටිය සහ මීගමුව මුහුදු ප්‍රදේශයන්හි 2025 අප්‍රේල් මස 26 සහ 27 යන දෙදිනතුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ හයසිය හතලිස් තුනයි (643) ග්‍රෑම් තුන්සිය අසූවක (380) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, 2025 අප්‍රේල් මස 26 වැනි දින උතුරුමැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය, තලෛයිමන්නාරම වැලිපර ආශ්‍රීත මුහුදු ප්‍රදේශයේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායමක් යොදවා සිදුකල සෝදිසි මෙහෙයුමකදී බීඩි කොල කිලෝ 94 ග්‍රෑම් 880ක්, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය අයතනය මගින් කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී බීඩි කොල කිලෝග්‍රැම් 150ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ 2025 අප්‍රේල් මස 27 වන දින බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය, මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී කිලෝ 398 ග්‍රෑම් 500ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, මෙලෙස නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය උර 18ක අසුරා තිබූ අතර එහි සමස්ත බර ප්‍රමාණය කිලෝ 643 ග්‍රෑම් 380ක් විය.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය සමඟ ඩිංගි යාත්‍රාව මන්නාරම හා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සහ කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරිණි.