නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ආ භාණ්ඩ තොගයක් සහ සුරතල් සතුන් සමඟ සැකකරුවන් 04 ක් කල්පිටියේදී හා පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය ආලංකුඩා මුහුදු ප්‍රදේශයේ සහ පුත්ලම තොඩුවාව ප්‍රදේශයේ අද (2025 අප්‍රේල් 23) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ සහ ප්‍රවාහනය කරමින් තිබූ; කුළු බඩු, රෙදි පිළි, ස්මාට් ජංගම දුරකථන, ඉලෙක්ට්‍රෝනික උපකරණ සහ සුරතල් සතුන් සමඟ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය ආලංකුඩා මුහුදු ප්‍රදේශයේ අද (2025 අප්‍රේල් 23) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, එම ඩිංගි යාත්‍රාවේ තිබි නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල එනසාල් කිලෝග්‍රෑම් දෙසීය හතලිහක් (240), එනසාල් බීජ ක්‍රිලෝග්‍රෑම් දෙසීයක් (200) සහ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන පනස් නමයක් (59) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපත්ණි ආයතනය මඟින් පුත්තලම තොඩුවාව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු කැබ් රථයක් පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, එම කැබ් රථයේ ප්‍රවාහනය කරමින් තිබූ නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන එනසාල් කිලෝග්‍රෑම් හැත්තැ පහක් (75), සල්වාරි අසු තුනක් (83), රූපවාහිනි යන්ත්‍රයක් (01), රසායනික ද්‍රව්‍ය බෝතල් අසූවක් (80), පැණි බීම බෝතල් පන්සිය හැට හයක් (566) සහ පරවියන් අසූ දෙනෙක් (80) සමඟ එම කැබ් රථය සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26ත් 48ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ කොළඹ 14 ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් සිව්දෙනා (04) සමඟ නීති විරෝධී ලෙස ගෙන්වන ලද භාණ්ඩ, රෙදි පිළි, සුරතල් සතුන්, ඩිංගි යාත්‍රාව සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.