නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහා කල කෘෂි රසායන ද්‍රව්‍ය බිඩී කොළ සහ කුළුබඩු තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 22 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමන ලද ඩිංගි යාත්‍රාවක් තුල තිබූ කෘෂි රසායන ද්‍රව්‍ය බෝතල් එක්දහස් එකසිය පනස් හයක් (1156), කෘෂි රසායන ද්‍රව්‍ය පැකට් හාරදහස් දෙසිය විසි හතරක් (4224), බිඩී කොළ කිලෝ හැට හතයි (67) ග්‍රෑම් අටසියයක් (800) සහ එනසාල් කිලෝ හැත්තෑ පහයි (75) ග්‍රෑම් තුන්සියක් (300) සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය, විශේෂ යාත්‍රා බළඝණ කණ්ඩායමක් හා එක්ව මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාව, නාවික හමුදා මෙහෙයුම් හමුවේ රට තුලට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මෙලෙස එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාව, කෘෂි රසායන ද්‍රව්‍ය බෝතල් හා පැකට් තොගය, බිඩී කොළ තොගය සහ කුළුබඩු තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මීගමුව පොලිස් අපරාධ විමර්ශණ කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.