නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි කහ කිලෝ ග්‍රෑම් 145ක තොගයක් සමඟ සැකකරුවන් 06ක් උඩප්පුව, කරුකපනේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2025 අප්‍රේල් මස 13 වැනි දින උඩප්පුව, කරුකපනේ මුහුදු ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 145ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් හයදෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය උඩප්පුව, කරුකපනේ මුහුදු ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 13 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදි එම ඩිංගි යාත්‍රාවේ උර තුනක (03) අසුරා තිබූ නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි කහ කිලෝග්‍රෑම් එකසිය හතලිස් පහක (145) පමණ තොගයක් සමඟ සැක කරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙණ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ යතුරුපැදි දෙකක්ද (02), එහිදි නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හයදෙනා (06) වයස අවුරුදු 22ත් 52ත් අතර වයසේ පසුවන, බංගදේනිය, වයික්කාල සහ කල්පිටිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් හයදෙනා, වියළි කහ තොගය, යතුරුපැදි දෙක සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.