අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකුට අනුව, 2025 අප්‍රේල් මස 11 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහු දින ධීවර යාත්‍රාව දික්ඕවිට වරාය‍ට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා රට තුලට රැගෙන ඒමට උත්සහ කල හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 77යි ග්‍රෑම් 484ක පමණ තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 42යි ග්‍රෑම් 334 ක පමණ තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත 2025 අප්‍රේල් මස 12 වැනි දින භාරදීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති විසින් එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම 2025 අප්‍රේල් මස 12 වැනි දින දික්ඕවිට වරායේදී සිදු කෙරුණු අතර, එම මෙහෙයුම සාර්ථකව සිදුකිරීම සඳහා දායක වූ සියළුම නාවික හමුදා පුද්ගලයන් සහ අනෙකුත් පාර්ශ්වයන් ඇගයීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති ජාත්‍යන්තර සහ දේශීය සබඳතා උපයෝගී කර ගනිමින් ලද විශ්වසනීය තොරතුරක් මත, අනෙකුත් පාර්ශ්වයන්ගේද දායකත්වයෙන් සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් ගැඹුරු මුහුදේදී සිදුකිරීමට නාවික හමුදාවට හැකිවූ බව පවසන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ධීවර ප්‍රජාව වෙතින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාදීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන බැවින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය සහ සහන ලබා දෙනු ලබන බවත්, ධීවර ප්‍රජාව අතුරින් ඉතා සුළු පිරිසක් විසින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ අවධානයකින් කටයුතු කරනු ලබන බවත් පවසන ලදී.

අභිමානවත් ජීවිතයක් - නොසැලෙන රටක් යන රජයේ ප්‍රතිපත්තියට අනුව, මත්ද්‍රව්‍ය උවදුරෙන් හා එම සමාජ ව්‍යසනයෙන් දැයේ දුවා දරුවන් මුදාගැනීම සඳහා සහ මතින් තොර රටක් - නිරෝගී පුරවැසි දිවියක් යන සංකල්පය යථාර්තයක් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, දේශීය හා විදේශීය බුද්ධි සේවාවන් සහ සමුද්‍රිය පාර්ශවකරුවන් මෙන්ම, මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා සහයෝගීත්වයෙන්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන බැවින්, පුරවැසියකු ලෙස රටේ අනාගත දුවා දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා නීතියට අනුගත වෙමින් කටයුතු කරන ලෙස ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාධිපති විසින් අවධාරණය කෙරිණි.

තවද, නීති විරෝධී කටයුතු කරනු ලබන පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීමට නාවික හමුදාව දේශිය හා විදේශිය සම්බන්ධතා උපයෝගි කර ගනිමින් අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව මෙහෙයුම් සිදුකරන බවත්, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන හෝ ඒ වෙනුවෙන් දරන කිසිදු ප්‍රයත්නයක් සාර්ථක වීමට ඉඩ නොතබන බවත්, එවැනි ජාවාරම් සිදුකරනු ලබන පුද්ගලයන් හඳුනාගනිමින් ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබන බවත් එහිදි නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරනය කරන ලදි.