නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 43 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව පාලමීන්මාදු, වංකාලේ, මන්ඩතිව්, ඉරක්කණ්ඩි, උල්ලංකාලි කළපුව, වාලච්චේනිය, ඌරණි කලපුව, ඔළුතුඩායි, කඩෙයිකාඩු, චුන්ඩිකුලම්, මඩකළපුව නාවක්කාඩු කළපුව, වව්නතිව් කළපුව සහ වලෙයිපාඩු වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ මාර්තු මස 25 වැනි දින සිට අප්‍රේල් මස 07 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රි කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම සහ නීති විරෝධි දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 43ක් නිතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, මෙම පුද්ගලයින් සමඟ නීති විරෝධී දැල් හතලිස් පහක් (45), මුහුදු කූඩැල්ලන් ගණනින් පන්දාස් පහක් (50005), ඩිංගි යාත්‍රා දහ තුනක් (13), පුපුරණ ද්‍රව්‍ය සහ කිමිදුම් උපකරණ රැසක් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මාමුණෙයි, මන්නාරම, යාපනය, ත්‍රීකුණාමලය, වාලච්චේන, වවුනතිව් සහ කිලිනොච්චිය යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරුණි.