නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 2554ක් සමඟ සැකකරුවන් 05ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව සුරාබදු දෙපාර්තමේන්තුව හා එක්ව මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව මාවනැල්ල ප්‍රදේශයේදී 2025 අප්‍රේල් මස 10 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබූ සහ ගබඩා කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් පන්සිය පනස් හතරක (2554) පමණ තොගයක් සමඟ ලොරි රථ දෙකක් (02), වෑන් රථයක් (01) සහ සැකකරුවන් පස් දෙනෙක් (05) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මීගමුව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ, 2025 අප්‍රේල් මස 10 වැනි දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සැකකටයුතු ලොරි රථයක් (01) නිරීක්‍ෂණ‍ය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ලොරි රථය තුළ උර තිස් දෙකක (32) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් නමසිය අනු දෙකක (992) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ලොරි රථය (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව 2025 අප්‍රේල් මස 10 වැනි දින මාවනැල්ල ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ගොඩනැගිල්ලක් තුල ගබඩා කර තිබූ, බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය අනු හතක (697) පමණ තොගයක් සහ සකස් කරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය හැට පහක (865) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03), ලොරි රථයක් (01) සහ වෑන් රථයක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39ත් 58ත් අතර වන නිට්ටබුව, වරකාපොල සහ මාවනැල්ල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත, තවද, කොච්චිකඩේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, බීඩි කොළ තොග‍ය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත සහ මාවනැල්ල ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, බීඩි කොළ තොග‍ය, වෑන් රථය සහ ලොරි රථය කෑගල්ල සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.