නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 1142 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් නොරෝච්චෝලේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය, නොරොච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුලට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ එක්දහස් එකසිය හතලිස් දෙකයි (1142) ග්‍රෑම් හත්සියයක (700) පමණ තොගයක් ප්‍රවාහනය කල කැබ් රථයක් සමඟ සැකකරුවෙක් (01) 2025 අප්‍රේල් මස 10 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, නොරොච්චෝලේ දළුව ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 10 වැනි දින උදෑසන සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කැබ් රථයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම කැබ් රථයේ උර තිස් එකක (31) අසුරා ප්‍රවාහනය කරමින් තිබූ, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ එක්දහස් එකසිය හතලිස් දෙකයි (1142) ග්‍රෑම් හත්සියයක (700) පමණ තොගයක් සමඟ එම කැබ් රථය සහ සැකකරුවෙක් (01) මෙලෙස නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන මදුරන්කුලිය ප්‍රදේශයෙහි පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගත් එම සැකකරු, වියලි කහ තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.