නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1287ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මාම්පුරි ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ලොරි රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය අසු හතක (1287) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ලොරි රථය 2025 අප්‍රේල් මස 04වැනි දින අළුයම් කාලයේදි නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවික හමුදා මැරීන් බලඝණ කණ්ඩායමක් යොදවා කල්පිටිය මාම්පුරි ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු ලොරි රථයක් (01) නිරීක්‍ෂණ‍ය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ලොරි රථය තුළ ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ උර තිස් හයක (36) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය අසු හතක (1287) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ එම ලොරි රථය (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වන කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, බීඩි කොළ තොග‍ය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.