නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව් නන්දිකඩාල් කලපුව, ත්‍රීකුණාමලය බැක් බේ, මන්මුනෙයි, එරක්කන්ඩි, වෙත්තලකේනි, මඩකලපුව කලපුව, මන්නාරම, යාපනය කුදිරමලේතුඩුව සහ කින්නියා ගොඩබිම වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ පෙබරවාරි මස 28 වැනි දින සිට මාර්තු මස 09 වැනි දින දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රි කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ පුපුරනද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම සිදුකල පුද්ගලයන් විසි හය දෙනෙකු (26), නීති විරෝධී උගුල් දැල් දෙසීය තිස්තුනක් (233), නීති විරෝධී ට්‍රැමල් දැල් දොළහක් (12), මොනොෆිලමන්ට් දැල් එකොළහක් (11), මුහුදු කූඩැල්ලන් ගණනින් 2130 ක්, කැබ් රථ දෙකක්(02), ඩිංගි යාත්‍රා හතරක් (04) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය 2025 පෙබරවාරි මස 28 වැනි දින මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් මුලතිව් නන්දිකඩාල් කලපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, මහවැලි ආයතනය 2025 මාර්තු මස 03 වැනි දින ත්‍රීකුණාලමය බැක් බේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, කාශ්‍යප ආයතනය 2025 මාර්තු මස 05 වැනි දින මන්මුනෙයි උතුර ධිවර පරික්‍ෂක කාර්යාලය හා එක්ව මඩකළපුව කලපුවට අසන්න මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, විජයබා ආයතනය 2025 මාර්තු මස 06 වැනි දින එරක්කන්ඩි ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, ලංකාපටුන ආයතනය 2025 මාර්තු මස 09 වැනි දින ලංකාපටුන මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නිතී විරෝධි ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් සහ ඊට සම්බන්ධ යාත්‍රා හා ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීම සිදු කෙරිණි.

එමෙන්ම, උතුරු නාවික විධානයේ නාවික ස්ථානගත කිරීම වෙත්තලකේනි ආයතනය 2025 මාර්තු මස 04 වැනි දින වෙත්තලකේනි වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, වේළුසුමන ආයතනය 2025 මාර්තු මස 08 වැනි දින යාපනය, කුදිරමලේ තුඩුව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය 2025 මාර්තු මස 08 වැනි දින, මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය හා එක්ව, මන්නාරම නගර සීමාවේ සිදුකල මෙහෙයුමක් මඟින් මෙලෙස නිති විරෝධී ධිවර කටයුතු සිදුකල පුද්ගලයින්, එම කටයුතු හා සම්බන්ධ යාත්‍රා, කැබ් රථ සහ ධිවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීම සිදු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා, කැබ් රථ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රීකුණාමලය ධීවර පරික්‍ෂක කාර්යාලය, කෝඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය, මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය, තලයාඩි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, මන්මුනෙයි උතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය, කිලිනොච්චි ධීවර පරික්‍ෂක කාර්යාලය, මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය සහ ඊච්චලම්පත්තු ධීවර පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරුණි.