රුපියල් මිලියන 69 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව යාපනය කිලිනොච්චි වත්තිරායන් වෙරළ ප්‍රදේශයේ 2025 මාර්තු මස 04 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ කේරළ ගංජා කිලෝ එකසිය හැත්තෑ හතරයි (174) ග්‍රෑම් එකසිය විසි හයක (126) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනී ආයතනය, මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව 2025 මාර්තු මස 04 වැනි දින උදෑසන යාපනය කිලිනොච්චි වත්තිරායන් වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළට ආසන්න කැලෑබඳ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු උර හතක් (07) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර හතෙහි (07) පාර්සල් අසු හතරක (84) අසුරන ලද කේරළ ගංජා කිලෝ එකසිය හැත්තෑ හතරයි (174) ග්‍රෑම් එකසිය විසි හයක (126) පමණ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 69 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නිතිමය කටයුතු සඳහා මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත වෙත භාරදීමට කටයුතු කෙරිණි.