කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ලේ සිට නාවික සැතපුම් 43ක් (කිමි 79ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද (2025 පෙබරවාරි 06) කටයුතු කෙරිණි.

වෙන්නප්පුව ධීවර වරායෙන් 2025 ජනවාරි මස 02 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Sadue Putha 04’ නමැති බහුදින ධීවර යාත්‍රාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ල සිට නාවික සැතපුම් 43ක් (කිමි 79ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, එක් ධීවරයෙක් රෝගීව අසාධ්‍ය තත්වයට පත්ව ඇති බවත්, එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කෙරිණි. ඒ අනුව, 2025 පෙබරවාරි මස 05 වැනි දින රාත්‍රි කාලයේදී අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, එම ධීවරයා වෙත මූලික ප්‍රථමාධාර ලබා දෙමින් ගාල්ල වරාය වෙත කඩිනමින් රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා අද අළුයම (2025 පෙබරවාරි 06) මෙලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.