හක් බෙල්ලන් 3,492 ක් සමඟ සැකකරුවෙක් තලෛමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව හා එක්ව තලෛමන්නාරම පේසාලෙයි ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 27 වැනි දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කල හක් බෙල්ලන් ගණනින් තුන්දහස් හාරසිය අනු දෙකක (3,492) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2025 ජනවාරි මස 27 වැනි දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට ලද තොරතුරකට අනුව, ගජබා ආයතනය විසින් මන්නාරම ගුවන් හමුදා කඳවුර හා එක්ව තලෛමන්නාරම පේසාලෙයි ප්‍රදේශයේදී සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විකිනීමට සූදානම්කර තිබූ හක් බෙල්ලන් ගණනින් තුන්දහස් හාරසිය අනු දෙකක (3,492) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.