නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 03 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට ‍

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 06 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකර ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2025 ජනවාරි මස 06 වැනි දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බළඝණයේ නාවිකයින් යොදවා, මන්නාරම ඕලුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකර ඇල්ලූ මත්ස්‍යයන් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 35ත් 41ත් අතර වයසේ පසුවන මන්නාරම, පනන්කට්ටිකොට්ටු බටහිර සහ එමිල් නගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් තිදෙනා (03), ඩිංගි යාත්‍රාව (01), මත්ස්‍යයන් තොගය සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.