නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් 555 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03 ක් නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව මඟින් මීගමුව කලපු ප්රදේශයේ සහ හැඳල මුහුදු ප්රදේශයේ 2024 දෙසැම්බර් මස 06 වැනි දින සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් පන්සිය පනස් පහක (555) පමණ තොගයක් (තෙත බර සහිතව), සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට මෙලෙස කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්රහාරක මුර යාත්රාවක් මඟින් 2024 දෙසැම්බර් මස 06 වැනි දින හැඳල මුහුදු ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ පාර්සල් විස්සක (20) අසුරන ලද බීඩි කොළ කිලෝග්රෑම් පන්සිය පනස් පහක (555) තොගයක් (තෙතබර සහිතව) නාවික හමුදා භාරයට ගත් අතර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව එම බීඩි කොළ තොගය මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක සහිත ඩිංගි යාත්රාවක් (01) සහ සැකකරුවන් තිදෙනෙකු (03) එම විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් මීගමුව කලපුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 42 සහ 47 අතර වයසේ පසුවන වෙන්නප්පුව සහ මදුරන්කුලිය යන ප්රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙදෙනා, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.