රුපියල් මිලියන 18 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 05 වැනි දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 45 ග්‍රෑම් 500 ක තොගයක් ( තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අයත් වෙරළබඩ මුර යාත්‍රා යොදවා යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 05 වැනි දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබු සැකකටයුතු පොලිතීන් උර දෙකක් (02) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම පොලිතීන් උර දෙකෙහි (02) පාර්සල් විස්සක (20) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 45 ග්‍රෑම් 500 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන, නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 18 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය, ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.