මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් 18ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 දෙසැම්බර් මස 02 වන දින යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහ අටදෙනෙකු (18), එම ධීවර යාත්‍රාව ඉන්දීය ශ්‍රී ලංකා ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකොට නාවික සැතපුම් 30 ක් පමණ ශ්‍රී ලංකාව දෙසට පැමිණ සිටියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, 2024 දෙසැම්බර් මස 02 වන දින රාත්‍රි කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයට අනුයුක්ත නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, වෙත්තලකේණි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහ අටදෙනෙකු (18) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දහ අටදෙනා (18) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ, උතුරු කලාප ප්‍රාදේශීය අධ්යක්ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා හැට හයක් (66) සහ ඉන්දීය ධීවරයින් පන්සිය පහලොස් දෙනෙකු (515) නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.