නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් 733 ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මොහොත්තුවාරම වෙරළ ප්රදේශයේ 2024 දෙසැම්බර් මස 01 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් හත්සිය තිස්තුනක (733) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් 2024 දෙසැම්බර් මස 01 වන දින කල්පිටිය මොහොත්තුවාරම වෙරළ ප්රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්රදේශයේ සඟවා තිබු උර විසි හතරක (24) තොගයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර තුළ අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් හත්සිය තිස්තුනක (733) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් සුරක්ෂිතව නාවික හමුදාව භාරයේ තබා ඇත.