ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් දහයක් (10) නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 30) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ නාවින්නවේලි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මයිලපන්චේනි, සාෆිනගර්, මුත්තුච්චෙන්නායි (තුවක්කුව හංදිය), මුතුර් හංදිය, කට්ටපරිච්චාන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරාක්‍රමපුර (මාඔය), බුද්දන්ගල (වැලි ඇල) යන ප්‍රදේශයන්හි ඇතිවි ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම් ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම, පිසු ආහාර බෙදාදීම සහ ගංවතුරෙන් ආපදාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටියි.

තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා නාවික හමුදා අමතර සහන කණ්ඩායම් එකසිය විසිපහක් (125) නාවික හමුදාව තවදුරටත් සූදානමින් තබා ඇත.