නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 1263 ක් සහ බීඩි කිලෝග්‍රෑම් 118 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 නොවැම්බර් මස 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය හැට තුනක (1263) තොගයක් (තෙත බර සහිත) සහ බීඩි කිලෝග්‍රෑම් එකසිය දහ අටක (118) තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, 2024 නොවැම්බර් මස 16 වන දින කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාව තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල උර තිස් හතක (37) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය හැට තුනක (1263) තොගයක් (තෙත බර සහිත) සහ උර තුනක (03) අසුරන ලද බීඩි කිලෝග්‍රෑම් එකසිය දහ අටක (118) තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ක් සහ 36 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා , බීඩි කොළ තොගය, බීඩි තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතව ඇත.