නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් පස් දෙනෙකු (05) මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සහ සිලාවතුර වෙරළ ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 13 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් පනස් පහක (1055) පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 නොවැම්බර් මස 13 වන දින අළුයම් කාලයේ උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනය, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් හයසිය හතරක (604) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් මන්නාරම සිලාවතුර වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය පනස් එකක (451) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟින් මෙලෙස මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් පනස් පහක (1055) පමණ තොගයක් සහ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 62 ත් අතර පසුවන වංකාලේ සහ සිලාවතුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ සිලාවතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.