නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 04 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 05 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 නොවැම්බර් මස 05 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින්, ත්‍රීකුණාමලය කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධීවරයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 37 ත් අතර වයසේ පසුවන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.