කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගැඹුරු මුහුදේදී රෝගී වු ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නිරිත දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 881 ක් (කිමි 1631 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී රෝගීව අසාද්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත ලබාගැනීමෙන් අනතුරුව, අද දින (2024 ඔක්තෝබර් 15) ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කොළඹ, ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

දික්ඕවිට ධීවර වරායෙන් 2024 අගෝස්තු මස 29 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Sun City 02” (ලියාපදිංචි අංක IMUL-A- 1671 MTR) නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු, ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ආමාශයේ රෝගී තත්වයක් හේතුවෙන් අසාද්‍යව ඇති බවත්, එම ධීවරයා වෙත ප්‍රථිකාර කිරීම සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අසාද්‍ය තත්වයේ සිටි ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා සහය වන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් ‘MV – CCNI Andes’ නැමැති විදේශීය නෞකාව‍‍ දැනුවත් කෙරිණි.

ඒ අනුව, අසාද්‍යව සිටි ධීවරයා ‘MV – CCNI Andes’ නෞකාව වෙත ලබාගැනීම සිදු කෙරුණු අතර, මුළික ප්‍රථමාධාර ලබාදෙමින් අද දින (2024 ඔක්තෝබර් 15) කොළඹ වරාය ආසන්නයට රැගෙන ඒමෙන් අනතුරුව, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා රෝගී ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් මෙලෙස ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.