නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, බස්නාහිර සහ වයඹ පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීමෙන් පීඩාවට පත්ව ඇති මහජනතාවට සහන සැලසීම සඳහා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගම්පහ, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්ක වෙත නාවික හමුදා සහන කණ්ඩායම් අටක් (08) අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් අද දින (2024 ඔක්තෝබර් 14) තුළද ගංවතුර ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

අධික වැසි හේතුවෙන් කළු ගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය සහ දැදුරු ඔය යන ප්‍රධාන හා අතු ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර, ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන් කඩුවෙල, මාබිම, නවගමුව, ඉහළගම, ජා ඇල, නාත්තන්ඩිය යන ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටියි.

ඒ අනුව, ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ දෛණික කටයුතු සිදු කිරීම සඳහා පුද්ගලයන් 641 දෙනෙකු වෙත ඩිංගි යාත්‍රා මඟින් ආරක්‍ෂිතව ප්‍රවාහන පහසුකම් සැලසීම, පුද්ගලයන් 4876 දෙනෙකු වෙත පිසූ හා වියළි ආහාර බෙදාහැරීම, ජීවිත අවධානමට පත්වී සිටි පුද්ගලයන් 03 දෙනෙකු මුදවා ගැනීම සහ මහජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

තවද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානය තුල අමතර ආපදා සහන කණ්ඩායම් විසි දෙකක් (22), දකුණු නාවික විධානය තුල නවයක් (09) සහ වයඹ නාවික විධානය තුල දාහතක් (17) වශයෙන් අමතර ආපදා සහන කණ්ඩායම් හතලිස් හයක් (48) නාවික හමුදාව සූදානමින් තබා ඇත.