නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් බස්නාහිර පළාතේ අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, බස්නාහිර පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අද දින (2024 ඔක්තෝබර් 13) තුළද ගංවතුර ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

ඒ අනුව, අධික වැසි හේතුවෙන් කළු ගඟ, කැළණි ගඟ සහ අත්තනගලු ඔය පිටාර මට්ටමට පැමිණීමෙන් කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන්, එම ප්‍රදේශ වෙත ගංවතුර ආපදා සහන කණ්ඩායම් අටක් (08) අද දින (2024 ඔක්තෝබර් 13) උදෑසන වන විට නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරිණි.

එම සහන කණ්ඩායම් මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ දෛණික කටයුතු සිදු කිරීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් ආරක්‍ෂිතව ප්‍රවාහන පහසුකම් සැලසීම, පිසූ හා වියළි ආහාර බෙදාහැරීම, විදුලි නඩත්තු කටයුතු සඳහා සේවකයින් ප්‍රවාහනය කිරීම සහ මහජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

තවද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානය තුල අමතර ආපදා සහන කණ්ඩායම් විසි දෙකක් (22), දකුණු නාවික විධානය තුල නවයක් (09) සහ වයඹ නාවික විධානය තුල දාහතක් (17) වශයෙන් අමතර ආපදා සහන කණ්ඩායම් හතලිස් අටක් (48) නාවික හමුදාව සූදානමින් තබා ඇත.