බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර පළාතේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් හයක් (06) ස්ථානගත කිරීමට අද දින (2024 ඔක්තෝබර් 12) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත, අධික වැසි හේතුවෙන් අත්තනගලු ඔය සහ කැළණි ගඟ පිටාර ගැලීමෙන් කඩුවෙල, බියගම සහ ඉහළගම යන ප්‍රදේශ ආශ්‍රිත පහත්බිම් ගංවතුරෙන් යටවීම හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන්, එම ප්‍රදේශ වෙත මෙලෙස ගංවතුර ආපදා සහන කණ්ඩායම් හයක් (06) ස්ථානගත කෙරුණු අතර, අද දින (2024 ඔක්තෝබර් 12) එම සහන කණ්ඩායම මඟින් ගංවතුර සහන මෙහෙයුම් සිදුකෙරිණි.

තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානය තුල අමතර ආපදා සහන කණ්ඩායම් විසි හතරක් (24), දකුණු නාවික විධානය තුල නවයක් (09) සහ වයඹ නාවික විධානය තුල එකොලහක් (11) වශයෙන් අමතර ආපදා සහන කණ්ඩායම් හතලිස් හතරක් (44) නාවික හමුදාව සූදානමින් තබා ඇත.