පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1084 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 07 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අසූ හතරක (1084) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ලෙස වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරණු ලබයි.

ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 07 වන දින නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ තීරයේ සැකකටයුතු ලෙස මසුන් එක්රැස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පරීක්‍ෂා කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අසූ හතරක (1084) තොගයක් සමඟ එම පුද්ගලයන් දෙදෙනා (02) සහා ඩිංගි යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 29 සහ 38 ක් වන නිලාවේලි හා ත්‍රීකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ මසුන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.