විදේශීය දුම්වැටි 2020 ක්‍ ප්‍රවාහනය කළ සැකකරුවෙක් කරුවලගස්වැවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව අද දින (2024 ඔක්තෝබර් 05) පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී බස් රථයක රැගෙන යමින් තිබූ විදේශීය දුම්වැටි දෙදහස් විස්සක (2020) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය වෙත ලද තොරතුරකට අනුව, පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුකරන ලද මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, වව්නියාව සිට පුත්තලම දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම බස් රථයේ රැගෙන යමින් තිබූ විදේශීය දුම්වැටි දෙදහස් විස්සක (2020) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කරුවලගස්වැව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.