විදේශීය දුම්වැටි 1400 ක් සමඟ සැකකරුවෙක් කොළඹ වරාය නගර පිවිසුම් දොරටුව අසළදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ පොලිස් මධ්‍යම අපරාධ පරික්‍ෂණ කාර්යාලය හා එක්ව 2024 ඔක්තෝබර් මස 02 වන දින කොළඹ වරාය නගරය අවට ප්‍රදේශය තුල සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් හාරසියයක (1400) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය වෙත ලද තොරතුරකට අනුව, කොළඹ පොලිස් මධ්‍යම අපරාධ පරික්‍ෂණ කාර්යාලය හා එක්ව කොළඹ වරාය නගරය ප්‍රදේශයේ සිදුකරන ලද මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, වරාය නගර පිවිසුම් දොරටුව අසල සිටි සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී එම පුද්ගලයා (01) සතුව තිබු අලෙවි කිරීමට සුදානම් කළ විදේශිය දුම්වැටි එක්දහස් හාරසියයක (1400) තොගයක් සමඟ එම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53 ක් වන මාතලේ පල්ලේයාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ විදේශිය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.