මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින උදෑසන (2024 සැප්තැම්බර් 29) මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහත් දෙනෙකු (17) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, අද දින උදෑසන (2024 සැප්තැම්බර් 29) මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහත් දෙනෙකු (17) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දාහත් දෙනා (17) තලෛමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා පනස් පහක් (55) සහ ඉන්දීය ධීවරයින් හාරසිය දහතුන් දෙනෙකු (413) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.