නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 25 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය මුහුදු ප්‍රදේශයෙහි 2024 සැප්තැම්බර් මස 28 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි පස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 28 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් ත්‍රීකුණාමලය සල්ලි සාම්බල්තිව් සහ පරෙවි දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධිවරයින් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, එදිනම නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික තටාකාංගනය හා ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතන මඟින් ත්‍රීකුණාමලය Chapel තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධිවරයින් දහතුන් දෙනෙකු (13) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීම සිදුකෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 43 ත් අතර වයසේ පසුවන කින්නියා, එරක්කන්ඩි සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රීකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ කොඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරිණි.