කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත්ව මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් යථාතත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහය

කාර්මික දෝශයක් හේතුවෙන් යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ පුද්ගලයින් පස්දෙනෙකු (05) රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් 2024 සැප්තැම්බර් මස 22 වන දින පරීක්‍ෂා කර, එම කාර්මික දෝශය යථාතත්වයට පත්කර මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට 2024 සැප්තැම්බර් මස 23 වන දින පිටත් කර හැරීමට නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 22 වන දින යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කෙරිණි. එම විධානයට අනුයුක්ත වෙරළ අරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා එම ධීවර යාත්‍රාවේ සිදුකළ පරික්‍ෂාවේදී, ඉන්දීයාවේ කන්‍යාකුමාරි ප්‍රදේශයෙන් මිලදී ගත් එම ධීවර යාත්‍රාව පුද්ගලයින් පස්දෙනෙකු (05) සමඟ ඉන්දියාවේ විශාකාපට්නම් ප්‍රදේශයට යාත්‍රා කරමින් සිටියදී, අයහපත් කාළගුණය හේතුවෙන් එම යාත්‍රාවේ ඇතිවු කාර්මික දෝශයක් මත මෙරට මුහුදු ප්‍රදේශයට ගසාගෙන පැමිණ ඇති බවට අනාවරණය විය.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරල්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව, නාවික හමුදාව මගින් එම ධීවර යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් වැඩිදුරටත් පරීක්‍ෂා කෙරිණි. ඒ අනුව, එම යාත්‍රාවේ ඇතිව තිබු කාර්මික දෝශය (Rudder Shaft Bearing Defective) උතුරු නාවික විධාන ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් යථාතත්වයට පත් කර, මෙලෙස 2024 සැප්තැම්බර් මස 23 වන දින නිරුපද්‍රිතව මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පිටත් කර හැරීමට කටයුතු කෙරිණි.

තවද, මුහුදේදී ආපදාවට පත්වන ධිවර හා නාවික ප්‍රජාවට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැදීම ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරනතර සුදානමින් සිටියි.