නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1318 කට අධික තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම සහා මන්නාරම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 21 සහ 22 දෙදින තුල සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ එක්දහස් තුන්සිය දහ අටයි ග්‍රෑම් විසි දෙකක (1318.22) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් 2024 සැප්තැම්බර් මස 21 වන දින තලෛයිමන්නාරම නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද සොදිසි මෙහෙයුමකදී එම වෙරළ ප්‍රදේශයට ගසාගෙනවිත් තිබු උර හතරක (04) අසුරන ලද බීඩි කොළ කිලෝ දෙසිය හයයි ග්‍රෑම් පන්සීයක (206.500) පමණ තොගයක් (තෙත බර සහිත) සහ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් තලෛයිමන්නාරම පරණ පාලම වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින්, මුහුදේ පාවෙමින් තිබු සහ වෙරළ තීරයට ගසාගෙනවිත් තිබු උර දහසයක (16) සහ පාර්සල් නවයක (09) අසුරන ලද බීඩි කොළ කිලෝ එක්දහස් පනහයි ග්‍රෑම් අටසියක (1050.800) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 සැප්තැම්බර් මස 22 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් මන්නාරම උතුර මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සොදිසි මෙහෙයුමකදී එම මුහුදේ පාවෙමින් තිබු බීඩි කොළ කිලෝ හැටයි ග්‍රෑම් නවසීය විස්සක (60.920) පමණ තොගයක් (තෙත බර සහිත) සහිත එක් උරයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් තලෛයිමන්නාරම සහ මන්නාරම ප්‍රදේශ වෙතින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ සුරක්‍ෂිතව තබා ඇත.