නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 506 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම සහ මන්නාරම වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 20 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය හයක (506) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින් 2024 සැප්තැම්බර් මස 20 වන දින පුත්තලම සින්නපාඩු හා දළුව වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයට ගසාගෙන ආ උර දහතුනක (13) අසුරන ලද බීඩි කොළ කිලෝ හාරසිය හැට නවයයි ග්‍රෑම් තුන්සීයක (469.3) පමණ තොගයක් (තෙත බර සහිත) සහ උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින්, මන්නාරම සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළ ප්‍රදේශයට ගසාගෙන ආ පාර්සලයක් (01) තුළ අසුරන ලද බීඩි කොළ කිලෝ තිස් හයයි ග්‍රෑම් හත්සීයක (36.7) පමණ තොගයක් (තෙත බර සහිත) වශයෙන්, බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය හයක (506) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම් මඟින් පුත්තලම වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති අතර, මන්නාරම සවුත්බාර් වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් සුරක්‍ෂිතව නාවික හමුදාව භාරයේ තබා ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 වර්ශයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මගින් නිතී විරෝධී ලෙස අවස්ථා 88 දි මෙරටට රැගෙන එමට උත්සහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් හතලිස් අටදහසකට (48,000) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත.