වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ජින්නපුරම් මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් කර්නාටකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 17 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 17 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා සහ රන්වැලි ආයතන එක්ව, ත්‍රීකුණාමලය ජින්නපුරම් මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් කර්නාටකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 45 ත් අතර වයසේ පසුවන සෙන්තූර්, මොතොත්තුවාරම්, මදුරන්කුලිය සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.

තවද, ත්‍රීකුණාමලය ජින්නපුරම් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් හතර දෙනා (04), ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතීමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත සහ මුලතිව් කර්නාටකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් හතර දෙනා (04), ඩිංගි යාත්‍රාව (01) සහ නීති වි‍රෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා කෝකිලායි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.