නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 702 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව ප්‍රදේශයේ 2024 ජුනි මස 15 වන දින අළුයම් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය දෙකක (702) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින්, 2024 ජුනි මස 15 වන දින අළුයම් කාලයේදී පුත්තලම දළුව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, ළදු කැලැවක් තුළ උර දහනවයක (19) අසුරා සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය දෙකක (702) පමණ තොගයක් (තෙත බර සහිත) එම ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 42 ක් සහ 44 ක් වන මන්නාරම සහ මදුරන්කුලිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), බීඩි කොළ තොග‍ය සහ ත්‍රීරෝද රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.