නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, වතිරායන් සහ නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 13 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 ජුනි මස 13 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් මාමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින් යාපනය, වතිරායන් සහ නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම්වලදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා හතරක් (04) පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සමඟ එම ඩිංගි යාත්‍රා හතර (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 16 ත් 40 ත් අතර වයසේ පසුවන ඒත්තාලේ සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පහළොස් දෙනා (15), ඩිංගි යාත්‍රා හතර (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.