නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 4600 ක් සමඟ සැකකරුවෙක් රාගමදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේ 2024 ජුනි මස 11 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි හාරදහස් හයසියයක (4600) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ජුනි මස 11 වන දින රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම නිවසේ සඟවා නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි හාරදහස් හයසියයක (4600) ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු (01) සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.