රුපියල් මිලියන 24 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2024 ජුනි මස 08 වන දින යාපනය වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැටකට (60) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ පේදුරුතුඩුව නාවික අනුඛණ්ඩය; නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2024 ජුනි මස 08 වන දින යාපනය වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම සැකකරුගෙන් ලද තොරතුරු මත එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ උර දෙකක් (02) තුල පාර්සල් විසි නවයක (29) අසුරන ලද කේරළ ගංජා කිලෝ 60 ග්‍රෑම් 300 ක පමණ තොගයක් සමඟ එම සැකකරු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විසි හතරකට (24) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන යාපනය, තාලයඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) කේරළ ගංජා තොගය සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.