ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම්, පාලම් තුල අවහිරතා ඉවත් කිරීම් සහ පිලිසකර කිරීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩව සහය

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් 2024 ජුනි මස 06 වන දිනද ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරුණු අතර, කණ්ඩායම් තිස් හයක් (36) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සඳහා අනුයුක්තව ඇත. එමෙන්ම, අධික වැසි හේතුවෙන් ජල පහරට ගසාගෙන ගොස් තිබූ අඹතලේ ජල පවිත්‍රාගාරයේ ඉන්ධන බාධකය පිළිසකර කිරීම, කඩුවෙල හෙට්ටිගේ ඇල අවහිර වෙමින් සිරවී තිබූ විශාල ගසක් ඉවත් කිරීම සහ ගාල්ල වක්වැල්ල පාලම තුල සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමද අද දින (2024 ජුනි 06) නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරිණි.

පැවති අධික වර්ෂාපතනය හමුවේ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ඉන්ධන බාධකය ගං ඉවුරට ගසාගෙන ගොස් තිබිණි. එය නැවත පිළිසකර කරදීමට නාවික හමුදාවේ සහාය ලබාදෙන ලෙස ජල සම්පාදන මණ්ඩලයෙන් සිදුකල ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක් යොදවා එම ඉන්ධන බාධකය පිළිසකර කර යථා තත්වයට පත් කෙරිණි.

එමෙන්ම, කඩුවෙල හෙට්ටිගේ ඇළ අවහිර වන ලෙස එහි පාලම අසල සිරවී තිබූ විශාල ගසක් ඉවත් කිරීම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් යෙදවූ යාන්ත්‍රික උපකරණ මඟින් සිදුකෙරුණු අතර, ඒ සඳහා අවශ්‍ය කිමිදුම් සහාය නාවික හමුදාව මඟින් ලබාදීම සිදුකෙරිණි.

තවද, ගිං ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන්, ගාල්ල වක්වැල්ල පාලම තුල සිරව තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්ද නාවික හමුදාව විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද සහයෝගයෙන් සිදුකෙරුණු අතර, එමඟින් ප්‍රදේශයේ ඇතිවීමට හැකිව තිබූ ගං වතුර අවධානම අවම කිරීමටද නාවික හමුදාවට අවස්ථාව ලැබිණ.