රුපියල් මිලියන 28 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නගර්කෝවිල් ආම්පන් මුහුදු ප්‍රදේශයේ අද දින (2024 ජුනි 05) දිවා කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැත්තෑවකට (70) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් මාමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින් අද දින (2024 ජුනි 05) දිවා කාලයේ යාපනය, නගර්කෝවිල් ආම්පන් මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ තිබී පාර්සල් තිස් එකක් (31) තුල අසුරන ලද කේරළ ගංජා කිලෝ 70 ග්‍රෑම් 100 පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විසි අටකට (28) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 ක් සහ 40 ක් වන යාපනය, මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.