නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ආවේක්ෂණ සහයෝගයද සහිතව කල්පිටිය ඒත්තාලේ එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ 2024 ජුනි මස 04 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 ජුනි මස 04 වන දින කල්පිටිය ඒත්තාලේ එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු උර තිස් එකක් (31) නිරීක්ෂණ‍ය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර තුළ තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන දිලීර නාශක, කෘමි නාශක, මෙරට භාවිතයේ තහනම් කල කෘෂි රසායන ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කෘෂි රසායනික ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.