නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් අද දින (2024 ජුනි 05) උදෑසන වන විට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් තුන්සිය දහසය දෙනෙකු (316) ආරක්ෂිතව මුදාගැනීම සහ පුද්ගලයන් දෙදහස් හත්සියයකට (2700) අධික පිරිසකට එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම සිදු කෙරුණු අතර, ආපදා සහන කණ්ඩායම් පනස් නවයක් (59) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සිදුකරමින් සිටියි.

ඒ අනුව, නාවික හමුදාව මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මීතොටමුල්ල සහ වැලිවිට ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් දහයක් (10), කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලණිය, බුලත්සිංහල, ඉංගිරිය, වැලිපැන්න, මදුරාවල, ගල්පාත, තෙඹුවන සහ කෙත්හේන ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් දහයක් (10), ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, මල්වාන, මාබිම, දොම්පේ, ජා ඇළ, ගම්පහ සහ වේයන්ගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් දහ හතරක් (14), රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ කිරිඇල්ල ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් දෙකක් (02), ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, උඩුගම, දොඩංගොඩ, නාගොඩ, දිවිතුර සහ බද්දේගම ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් අටක් (08), මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, පනාතුගම, කරගොඩ, උයන්ගොඩ, කඹුරුපිටිය, මාතර සහ තිහගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් පහළොවක් (15) වශයෙන් සම්පුර්ණ ආපදා සහන කණ්ඩායම් පනස් නවයක් (59) අනුයුක්ත කර ඇත.

එමෙන්ම, 2024 ජුනි මස 04 වන දින කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ආපදා කළමණාකරණ රැස්වීම සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කඩුවෙල හෙට්ටිගේ ඇළ පාලම අසල ජලය බැසයාම අවහිරවන පරිදි සිරවී ඇති විශාල ගස් කපා ඉවත් කිරීම සඳහා නාවික හමුදාවේ සහය ලබා‍දීමේ හැකියාව සොයා බැලීම සඳහා එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට සහභාගි විය.

තවද, නාවික හමුදා සහන කණ්ඩායම් ගංවතුරෙන් ආපදාවට පත් කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, ඉහළ වෙල්ගම, කිතුල්ගල්විල සහ බුලත්සිංහල යන ප්‍රදේශයන්හි ජනතාව සඳහා පිසූ ආහාර සහ වියළි ආහාර බෙදාදීමේ කටයුතු සඳහාද සහය වු අතර, ගාල්ල තවලම විද්‍යාරාජ ජාතික පාසල් භූමියට කඩා වැටුනු පස්කඳු කපා ඉවත් කර පිරිසිදු කිරීම සඳහාද නාවික හමුදා සහන කණ්ඩායම් දායක විය.

එමෙන්ම, ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන හා සම්බන්ධීකරණය වී අවශ්‍යතාවය මත කඩිනමින් ස්ථානගත කිරීම සඳහා අමතර සහන කණ්ඩායම් තවදුරටත් නාවික හමුදාව සූදානමින් තබා ඇත.