හංවැල්ල පාලම තුල සිරවූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30 ක් වටිනා ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් සහය

අධික වර්ෂාපතනය හේතුවෙන් කැළණි ගඟේ ජලය සමඟ ගසාගෙන පැමිණි උණ පඳුරු සහ කැලිකසල තුල සිරවූ, වාරිමාර්ග දෙමාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30ක වටිනාකමින් යුත් ජල මාපක යන්ත්‍රයක් ( Acoustic Doppler Current Profiler -ADCP) 2024 ජුනි මස 04 වන දින අළුයම නාවික හමුදාව මඟින් සිදුකල සාර්ථක කිමිදුම් මෙහෙයුමක් මඟින් සොයා ගැනීමට සමත් විය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟේ ජලයේ මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස්කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබනු ලබන ජල මාපකයෙහි GPS යන්ත්‍රය, ජලය සමඟ ගසාගෙන පැමිණි උණ පඳුරු සහ කැලිකසල තුල පැටලී, ප්‍රධාන යන්ත්‍රයෙන් ගැලවී ගොස් ඇති බවත්, එම GPS යන්ත්‍රය සොයාගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදෙන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් සිදුකෙරිණි.

ඒ අනුව, එම ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් විශේෂ කිමිදුම් කණ්ඩායමක් 2024 ජුනි 04 වන දින අළුයම කිමිදුම් සහය ලබා දීම සඳහා හංවැල්ල ප්‍රදේශයට යොමු කෙරිණි. පවත්නා අධික වාර්ෂාපතනය හමුවේ කැළණි ග‍ඟේ ජලය පිටාර මට්ටමට පැමිණ ඇති අවධානම් තත්වය මත වුවද, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා දිය යට කැලි කසල තුළ සිරවී තිබූ GPS යන්ත්‍රය සොයා ගැනීමෙන් අනතුරුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.